Sunday, October 9, 2011

චේ..

අර්නෙස්ටෝ ගුවේරා ලා සර්නා

දු‍ටුවෙමි නුඹව
T එකක පි‍ටුපස
ඇදෙනවිට KFC

මමත් ගන්න ඕනා
මාර ගති
කීයද දන්නෑ.....

Sunday, October 2, 2011

හිරු පායන ලොවක් ...

ජීවිතය...
නාකපන
වැස්සකට අසුවී
මහා සුළි සුළඟකින්
තුරුපත් බිඳවැටී
ගැලූ වැහි වතුරින්
පොළව සේදී ගොස්
තිබුණු පොඩි හීන කඳු
තැනින් තැන නායගිය
ස්වාභාවික යැයි කිව
නොහැකි විපතකට පසු
පුංචි හිරු කිරණක්
ආයෙමත් වැටිලාද?

විශ්වාස කරන්නත් අමාරුයි
මතක් වෙනවා අතීතය
කල් වැඩියි හිතන්නට
හිරු පායන ලොවක් ගැන
තවම....

Tuesday, August 30, 2011

ආයෙමත් වහිනවා......


වස්සානය
අතීතයට එක්වී
සිත් විල වියලී
ඉරි තලා යද්දී

ආයෙමත්
මහා වැහි බිඳු
කොළඹ අහසින්
පතිතවෙන හැටි

කේඬෑරි වුන
සිහින තණපත්
ලැව් ගින්නකට
මුල පුරද්දී

පාර අද්දර
වැටමාර ගස්
මඩ වතුර බී
සැනහෙනා හැටි

හිතේ ගින්දර
මකාලන්නට
ඔය වැස්ස දෙන
සිසිල මදිමුත්

නොනැවති එක
දිගට වැහැපන්
ගතටවත් සිසිල වී
හිත මොකක් වූවත්....

Saturday, August 13, 2011

අවසානයට මොහොතකට පෙර....

අද....

පසළොස්වක හඳ
අහසෙ පායලා
මුලු නුවරම
පෙරහැරට සැරසෙද්දි
අපි දෙන්න අඬනවා

දළදා සමිඳුත් නොදකින
නුවර කඳු වළල්ලක්
මහා පවුරක් වෙලා
ඔයාව හිරකරගෙන

මම අනෙක් පස
ඒ කඳු වළල්ල දිහා
කඳුලු මැදින් බල බල
සුසුම් හෙලනව

අපි දැන් මොකද කරන්නෙ?
දෙන්නට දෙන්න
අහන ප්‍රශ්නෙට
දෙන්නටම උත්තර නෑ

හැමදාම ඉන්න
නමුණුකුල කන්ද වගේ
කිසිදාක නොසැලී
හැම දුකම දරාගෙන

බොල්ගොඩ ඉවුර වගේ
මහා ජල කඳ රඳාගෙන
බිඳක් වත්
පිටත යානොදී

එහෙමයි කිව්වෙ
දෙන්නට දෙන්න

හැමදාම හිනා වෙන්න...
එච්චරයි......

Sunday, August 7, 2011

හීන දහසක් මැදින් විභාග ශාලාවට... හෙට...


මට ඒක ඉවරවෙලා අවුරුදු හයක් විතර. අද මම කොච්චර try කලත් එදා දවස කොහොමද කියල මතක්කරගන්න අමාරුයි. අවුරුදු 6 ක් කියන්නෙ එච්චර ලොකු කාලයක්ද? ඒත් එක දෙයක් මතකයි . ඊට පස්සෙ ආපු එක exam එකක්වත් ලියන්න කලින් දවසෙ ඒ වගේ හැඟීමක් ආවෙ නෑ. ඒක A/L වලට unique. කවුරු මොනව කිව්වත්, මොන තර්ක ගෙනාවත් ලංකාවෙ A/L කියන්නෙ ජීවිතය තීරණය කරන සාධකයක්. විභාගෙකට එහෙම කරන්න දෙන්න හොඳනෑ තමා. ඒත් ලංකවෙ එහෙම වෙලා තියනව.

අද අවුරුදු 6කට පස්සෙ අපේ මල්ලි ඒ දවස ගතකරනව. මිනිහ තාම වැඩ. උදේ නැගිට්ටෙ පාන්දර 4 ට. යාලුවො දෙන්නෙක් ගෙදරට ආව මහ පාන්දර. උදේ වරුවම කට්ටිය වැඩ. මම නම් ගොඩක් පාඩම් කලේ තනියමමයි. අනික මලාට පාන්දර නැගිටල නෑ. (මලයත් හැබැයි අද විතරයි) කට්ටිය මොනව කලාද දන්නෙ නෑ. මම ඉතින් දෙන්න ගියෙ නෑ.නොදන්න දේවල් වලට ඇඟිලි ගහන්න ඕන නෑ නෙ. මලය commerce මම maths. 
 
අපේ මලය ඒකාලෙ ඉඳලම කිව්වෙ "මටනම් ඔය sin, cos, tan තේරෙන්නෙ නෑ" කියල. ඒ දවස් වල මගෙ කටේම තිබ්බෙ ඔය වචනනෙ. ඌට ඒව අහලම එපා වෙන්න ඇති. ඊට පස්සෙ දවල් වරුවෙ මිනිහ රාජකීය නින්දක් දැම්ම. හවස ආයෙමත් වැඩ. අම්ම ඔක්කොම ලඟට supply කරනව. ඉඳල හිටල එකපාරට එලියට එනව. TV  එක බලනව.කම්පියුටරේට එබෙනව. එකපාරට commerce සබ්ජෙක්ට් එකකින් මොකක් හරි කතාවක් පටන් ගන්නව. අපිත් ඉතින් අහන් ඉන්නව. තේරෙනව කියලයෑ. කියන ඔක්කොටම ඔලුව වනනව. පොඩ්ඩක් මිනිහව නග්ගල තියන්නත් ඕන නේ.
 
දැන් 11.00 ත් වෙලා.තාම වැඩ. ගේම අතාරින්නෙම නෑ වගේ. දැන් ඉතින් ගිහින් නිදාගන්න කියන්න ඕන. එතකොටත් කියයි හොඳ හොඳ කතා ටිකක්. අහන් ඉන්න ඕන අමාරුවෙන් හරි.  උදේ ඉඳල calls ගොඩයි. සුභ පැතුම් ඔක්කොටම කලින්. කෙල්ලො call කරනව හි‍ටු කියල. මලය ඒ subject එක නම් හොඳට ගොඩ දාල තියනව.

කොහෙම උනත් අපේ මලයත් ඇතුලුව pass paper එකක්වත් නොලිය(මේ අලුත් syllabus එකේ මුල්ම විභාගෙනේ) හෙට A/L ලියන්න යන හැමෝටම වැඩේ හොඳටම ගොඩදාගන්න සියලු ගට ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Tuesday, August 2, 2011

මට තේරෙන්නෙ නෑ ඇයි කියල...

 එක පුංචි හීනයක්
එකම එක වාරයක්
සත්තමයි දු‍ටුවා
වගේ මතක තිබුනා

ඒ පුංචි හීනයේ
යන්තමින් දු‍ටුව රුව
හිත් කොනින් මැකී යන්නට
ලංව තිබුනා

කිසි අමුත්තක් නෑ
ගලා ගිය ජීවිතය
ඔය නිහඬ රුව දු‍ටුව
දින එතැන ‍රැඳුනා

අමතකව යන්න ගිය
ඒ පුංචි හීනයට
අමුතු ආදරයකින්
ළංවෙන්න සිතුනා

මේ මෙව්ව එක ලිව්වෙ ගිය සතියෙ වැරදිල වැරදි ලෙක්චර් එකක පැය දෙකක් වාත වෙවී ඉඳිද්දි. 

Tuesday, July 26, 2011

සුන්දර නමුණුකුල

අධ්‍යාපනික විදියට හරි, ගවේශණ විදියට හරි, නැත්නම් fun එකට හරි මෝඩ ආතල් එකකට හරි  trip යන එක නම් දැන් සිද්ද වෙන්නෙ ගොඩක් අඩුවෙන්. මොකක් හරි එක ජීවන රටාවකට පුරුදු උනාම වැඩක් තිබ්බත් නැතත්  ඒකෙන් අත් මිදෙන්න මාර අමාරුයි. අනික මොකක් හරි ගමනක් යන්න කට්ටියටම පුලුවන් දවසක් හොයන්න සතියෙ දවස් 7ට අමතරව තව දවසක් අඳුන්නල දෙන්න වෙනවා. කොහොම හරි ගොඩ කාලෙකට පස්සෙ බොහොම සුන්දර ගමනක් යන්න අවස්ථාවක් ලැබුනා. අපේ ගමනාන්තය උනේ සුන්දර නමුණුකුල කඳු මුදුන. මේ වගේ ගමන් ගැන එච්චර අත්දැකීම් නැතත් බාගෙට adventure උපරිම fun මේ ගමන ගැන පොඩි සටහනක් මේ විදියට කරන්න හිතුනා.

මුලින්ම නමුණුකුල නැන දන්න විස්තර ටිකක් කියන්නම්. නමුණුකුල කියන්නෙ බදුල්ල දිස්ත්‍රිකයෙ බදුල්ල නගරයට ආසන්නයෙන් (ටිකක් දුරයි) තියන කන්දක්. 1:50,000 සිතියමට අනුව මේකෙ උස මීටර් 2035.76ක්. ලංකාවෙ 11 වෙනියට උසම කන්ද මේක කියල තමා කියන්නෙ.

තේ වත්ත මැදින්...
අපි කොළඹින් ගමන පටන් ගත්තෙ ‍රැ 8.00 ට පටන්ගන්න බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙන්. ගමන low cost එකක් නිසා අපිනම් ගියෙ 3 වෙනි පන්තියේ. පුරුදු පරිදි හරියටම 7.59 වෙද්දි ස්ටේෂමට ආපු නිසා හිටගෙන තමා ගමන පටන්ගත්තෙ. ඒත් ඉතින් ඒක ප්‍රශ්නයක් උනේ නෑ. පොල්ගහවෙල හරියෙදි සීට් හම්බවුනත් කාටවත් ඉඳගන්න ඕන උනේ නැත්ත කට්ටියම සින්දු කියන්න පටන් අරන් හිටිය නිසා. කොහොමහරි සින්දු කිවිල්ල ඉවර උනේ දන්න ඔක්කොම වගේ සින්දු ටික ඉවර වෙලා අන්තිමට බොඳ මීදුම්, පබා ටෙලි  නාට්‍ය වල theme song ටිකත් කියල ඉවර උනාට පස්සෙ. අන්තිමට හැමෝම සීට් එක ගානෙ බදු අරගෙන හොඳට වැටිල නිදාගත්ත. ආපහු ඇහැරුනේ බණ්ඩාරවෙල හරියෙදි. වෙලාව  ඉතුරු කරගන්න ඕන නිසා අපි කෝච්චියෙදිම උදේ ආහාරය ගත්තා. (දත් මැද්දද කියල අහන්න එපා)ඔය අතරෙ කෝච්චි පාර දෙපැත්තෙ පේන සුන්දරත්වය විඳගන්නත් අමතක කලේ නෑ.  කොහොමහරි එදා  ටිකක් වේලාසනින් (7.45 වගේ වෙද්දි) night mail එක බදුල්ලට ලඟා උනා. කොහොමහරි 8.00 කෝච්චිය අල්ලන්න 7.59 ට ආපු නිසා කොළඹින් ගන්න අමතක වෙච්ච අඩුම කුඩුම බදුල්ලෙ හොයන්න තව පැය 2 ක් විතර වැයකරන්න උනා.

තේ වත්ත මැදින්...
 අපේ වාසනාවට අපේ කඳු නැගීම පටන්ගන්න බලාපොරොත්තු වෙන දෙවනගල ( මේ ඇරෙන්න නමුණුකුල කන්ද තරණය කරන්න පටන්ගන්න පුලුවන් ගොඩක් තැන් තියනවා) වෙනකන් යන වාහනයක් හොයාගන්න අපිට පුලුවන් උනා. ඒක ඒ පැත්තෙ ලයිමක වාහනයක්. ඒ නිසා බොහොම අඩු මුදලකට කන්ද පාමුලටම යන්න අපිට  පුලුවන් උනා. ඌව වෙල්ලස්ස කැම්පස් එක පහුකරගෙන මහියංගන පාරෙ ටික දුරක් ගිහින් අපි දෙවනගලට ලඟා උනා. දෙවනගලින් කන්ද නගින්න පටන් ගන්නකොට 12 පහුවෙලා තියෙන්න ඇති. හැමෝගෙම අතේ තිබ්බ බෑග් එකට අමතරව තව ගොඩක් දේවල් උස්සන් යන්න සිද්දවුනා. කිලෝ 15ක් විතර බර කූඩාරම් 2ක්, ලන්තෑරුම, උයන්න හට්ටි මුට්ටි හාල් තුනපහ පිඟන් වතුර බෝතල් වගේ දේවල්. උයන ඒව කියද්දි මතක් උනේ අපි නම් ගෙනිච්චෙ මැගී පිටි කල පොල් කිරි. ඕව නැති කාලෙ නම් කට්ටියට පොල් ගෙඩි හිරමන හිටන් ගෙනියන්න වෙන්න ඇති නේද?

එක කූඩාරමක්....
කුඩා තේ කෑල්ලක් තරණය කරල  අපි කැලේට පිවිසුනා. කොහොමත් පැය 2 ක විතර අමාරු ගනමකින් පස්සෙ අපි කන්ද මුදුනෙ තැනිතලා බිමට ලඟාඋනා. මේ වෙනකොට අපි පහලින් පුරවගෙන ආපු වතුර ඔක්කොම ඉවරවෙලා හරිම අමාරුවෙන් හිටියෙ. මේ මෙහෙට පායන කාලෙ නිසා කන්ද නගිනකන්ම කිසිම වතුර උල්පතක් හම්බඋනේ නෑ. ඒක කවුරුත් බලාපොරොත්තු නොවුනු දෙයක්. ( මේ වගේ ස්වාභාවික පරිසර පද්ධති වල පවා වතුර උල්පත් හිඳිල කියන්නෙ ඇත්තටම තත්වෙ භයානකයි නේද?)  කන්ද මුදුනේ ලිඳක් සහ වතුර වලක් තිබ්බට ඒ දෙකේම වතුර බොන්නවත් උයන වැඩ වලටවත් සුදුසු මට්ටමේ තිබුනෙ නෑ. ඒ නිසා වතුර හොයන්න වෙන පැත්තකින් ආපහු පල්ලෙහාට බහින්න අපිට සිද්ද උනා. අන්තිමේ පැයක් විතර හොයල හොයල යන්තම් පුංචි වතුර පාරක් හොයාගන්න පුලුවන් උනා. අපි හවස් වෙන්න කලින් මුදුනට ආපු එක හොඳට ගියා. නැත්නම් රෑ වෙලා වතුර හොයන්න ගියානම් ඒක අමාරු වගේම භයානක වැඩක් වෙන්න තිබ්බා.

කඳු වළල්ල...
ඊට පස්සෙ ඉක්මනටම උයන්න පටන් ගත්තා. කට්ටියක් දර හොයද්දි කට්ටියක් කූඩාරම් දෙක ගැහුවා. උයන වැඩේටනම් හුළඟින් මාර බාධාවක් උනේ. ලිප පත්තු කරන්න හෙන ගේමක් දෙන්න උනා. දවල්ට බත් එක්ක ව්‍යාංජන දෙකකුයි රෑට කඩලයි තමා හැදුවෙ. අඩු පීඩනයක් තියන ,පට්ටම සීතල, හොඳට හුළං හමන තැනක කඩල තම්බනව කියන එක මෝඩ වැඩක් කියල තේරුනේ වැඩේ පටන් ගත්තට පස්සෙ. ඉර බැහැල යනවත් එක්කම පොඩ්ඩ පොඩ්ඩ හුළඟ වැඩි වෙන්න ගත්තා. කඳු මුදුන නිසා කිසිම මුවාවක් නෑ. ඒ තියා උස ගහක් වත් නෑ. ඒ නිසා අපිව කෙලින්ම හුළඟට නිරාවරණය උනා. ඊලඟට ඒ හුළඟ අරන් ආපු සීතල. හුළඟ නිසා නිමෙන්න ඔන්න මෙන්න වෙන ගිනිමැලයට ඒ සීතල මකන්න බැරිවුනා. රෑ වෙන්න වෙන්න හුළඟයි සීතලයි දෙකම දරාගන්න බැරි තරමට වැඩි උනා. ඒ අතරෙ මහ රෑ අපේ එක කූඩාරමක් ගැලවිලා ගියෙ හුළඟට ඔරොත්තු දෙන්නෙ නැතුව. ඒ නිසා හැමෝටම ඉතිරි උනේ එක කූඩාරමයි. අන්තිමට ඒ සීතලේ නින්දත් නොනින්දත් අතර මැද තැනක කාලය ගෙවිල ගියා.
උයපු හැටි....
කඳු මුදුනේ තැනිතලාව...
දළ බෑවුමේ පහලට...
නම නොදන්න අමුතු මලක්...
පහුවෙනිද උදේ අයෙමත් උයන වැඩේ සෙට් උනා. වතුර ඉවර උන නිසා වතුර ගේන්න අයෙම පහලට යන්න උනා. එත් වතුර ගේනකන් බලන් ඉන්න බැරිඋන අපේ සගයෙක් මඩ වතුරෙන්ම පරිප්පු එක ලිපේ තිබ්බා. ඒ අතරෙ කන්දෙ සිග්නල් තිබ්බ එකම තැනට ගිහින් අපේ මල් කඩන කට්ටිය  උදේ පූජාවට මල් ටික එහෙම කඩාගත්තා. දවල්ටත් එක්කම සප්පායම් උන අපි පිටත් වෙන්න සූදානම් උනා. කියන්නම ඕන ගෙනිච්ච කිසිම දෙයක් කඳු මුදුනෙ දාල ආවෙ නෑ. ඒත් කලින් එකතු වෙලා තියන වීදුරු ක‍ටු කුණු ගොඩක් නමුණුකුල කන්දෙත් තියනව කියල  ලැජ්ජාවෙන් උනත් කියන්න  ඕන ( මේව කරන්නෙත් අපේම අය නේ) අන්තිමට ලිප්, ගිනිමැලය වතුර දාල නිමල කන්දෙ වෙන පැත්තකින් ආපහු බහින්න පටන් ගත්තා.(ස්ප්‍රින් වැලි ටවුන් එක පැත්තට ) වෙලාවකට අඩි පාරවල් තියන ,තව වෙලාවක අඩි පාරවල් නැති දල බෑවුමක් තමා අපිට හම්බඋනේ. වේලුනු පොලවෙ වැටිල තිබ්බ කොලරොඩු නිසා පාර හිතනවාට වඩා ලිස්සනසුලු උනා. ගොඩක් අපහසු උනේ බර උස්සගෙනම බහින්න උන එකයි. අපේ කූඩාරම් තිබ්බ බෑග් කීපවතාවක්ම පල්ලමේ මහ දුරක් ලිස්සල ගියා. පැය 3 ක් විතර බැස්මකින් පස්සෙ යන්තම් තේ කෑල්ලකට සේන්දු වෙන්න පුලුවන් උනා. එහෙ අයගෙන් තමා අහල දැනගත්තෙ බැහැල තියෙන්නෙ ස්ප්‍රින් වැලි නගරයෙන් කිලොමීටර් කීපයක් එහාට වෙන්න බව.

මුතියංගන විහාරය....
ඊට පස්සෙ හෙව්ව නාන්න තැනක්. මෙහෙත් "බ්ලැක් පූල්" එකක් තියනව කියල දැනගත්තෙ එතකොට. (දන්න විධියට ප්‍රසිද්ධ බ්ලැක් පූල් එක තියෙන්නෙ නුවරඑළියෙ) නාල ස්ප්‍රින් වැලි බස් එකෙන් ආපහු 5 විතර වෙද්දි බදුල්ලට ආවා. අවසාන වශයෙන් බදුල්ල ටවුන් එකේම තියන  මුතියංගනය රජමහ විහාරෙ වැඳල අපේ ගමන අවසන් කලා.

අවසාන වශයෙන් කියන්න ඕන මේ ගමනට කලින් මෙහෙ ආපු යාලුවෙක් සහ බණ්ඩාරවෙල අපේ යාලුවෙක් හිටපු නිසා වැඩේ හුඟක් ලේසි උනා. ඒ දෙන්නටම ස්තූතියි කියලත් කියන්න ඕනා.  ගමන පුරාවට photos ගන්න උනේ ගොඩක් අඩුවෙන්. ඔය දාල තියෙන්නෙ මම phone එකකිනුත් තව කැම් එකකිනුත් ගත්ත photo කීපයක්.
මේ පන දාගෙන කියපු විස්තරය නිතර මෙවැනි ගමන් යන අයටනම් වැඩක් නෑ මම හිතන්නෙ. ඒත් ගොඩ කාලෙකින් මේ විදිය අත්දැකීමක් ලබපු නිසා හැමෝම එක්ක ඒක බෙදාගන්න හිතුනා. අදහස් මොනව හරි තියනව නම් කියන්න අමතක කරන්න එපා.