Wednesday, June 22, 2011

පුන්චි දේකින් ගොඩක් සතු‍ටු වෙන්න සිරාවට පුලුවන්ද?

අද කියන්න යන්නෙ පහුගිය සතියෙ ගෙදර ගිය වෙලාවෙ ලබපු පුන්චිම පුන්චි අත්දැකීමක් නිසා හිතේ ඇතිඋන මහා දිග සිතුවිලි ලොට් එකක් ගැන. සතියෙ දවස් පහම හොස්ටල් එකට වෙලා පොත් අස්සෙයි, අඟල් 14 තිරේ ඉස්සරහටයි වෙලා ගෙවන ජීවිතෙන් ගෙදර ගියාමත් ගැලවෙන්න හිතෙන්නෙම නෑ.( පොත් කෙසේ වෙතත් අඟල් 14 තිරේටනම් අම්බානට ඇබ්බැහිවෙලා ඉන්නෙ) මේක මට විතරක් නෙමේ අද කාලෙ ගොඩක් උන්ට තියන අවුලක් කියල මම දන්නවා.

මේ සම්බන්ධයෙන් අපෙ අම්මගෙයි තාත්තගෙයි නම් එච්චර කැමත්තක් නෑ.. අපේ අම්ම හැමතිස්සෙම කියන්නෙ 
"ඔය මගුල ඉස්සරහට වෙලාම දවස ගෙවන්නෙ නැතුව නරකද ටිකක් එලියට පහලියට බැහැල වත්ත පිටිය ටිකක් සුද්ද කලොත්" 
වගේ කතාවක්.. ඒ එක්කම ඒ සතියෙ මගෙන් ගන්න බලාපොරොත්තු වෙන වැඩ ලිස්ට් එකත් කියාගෙන යනව. ගොඩක් දවස් වලට වෙන්නෙ ඔය එක වැඩකට වත් සෙට් වෙන්නෙ නැතුව සඳුද මම ආපහු හොස්ටල් එන එක. 

තාත්ත තමා නියම කතාව කියන්නෙ. 
"ඔය අටමගලෙ ගෙනාපු වෙලේ ඉඳල මෙහෙ ඉන්න එකාටත් ඔක්කොම අමතක වෙනව" 
ඔය "මෙහෙ ඉන්න එකා" කිව්වෙ අපේ මලයා.. ඌ මේ පාර A/L . ඌටත් මං ගෙදර ගිය දවසට තියෙන්නෙ මගේ ඩොංගල් එකේ කාඩ් එක ඉවර කරන වැඩේ විතරයි.

කොහොමහරි මේ සතියෙ ගොඩ කාලෙකට පස්සෙ ගෙදර ගිහින් එලියට බැස්ස. කොට කලිසම ගහල උදැල්ල අරගෙන වත්තට (මහ ලොකු එකක් නෙමේ හරිද?)මම එනකොට ගෙදර අය බලාගෙන හිටියෙ නිකන් මොකෙද්ද දිහා බලන් ඉන්නව වගේ. මගේ පැමිණීමත් එක්ක අම්ම ප්ලෑන්ස් ඔක්කොම වෙනස් කලා. සංවර්ධන ව්‍යාප්ති ඔක්කොම කඩිනම් ව්‍යාප්ති බවට උසස් කරල කොන්ත්‍රාත් එක මට  බාර දුන්නා.

කොහොම හරි දවස අවසානෙ මම හිතුවෙ ඉස්ම යන්න හන්ටර් වෙලා , පාන් කියාගන්න බැරුවයයි කියල. ඒත් මටත් පුදුමයි එදා ඇඟට වගේම හිතටත් මාර ගටක් දැනුනෙ. හොඳම වැඩේ ඒක නෙමේ. වැඩ කරල ආපු කික් එකත් එක්ක නිකන් පිස්සු වැඩ ටිකක් කරන්න ආසවක් ආව. ඔය ලිස්ට් එකේ මුලින්ම හිතුනෙ අයිස් පැකට් එකක් කන්න.

 ගොඩ කාලෙකට පස්සෙ එදා ඔන්න  මම අයිස් පැකට් එකක් රස වින්දා.මම හිතන්නෙ ඔය මම අයිස් පැකට් එකක් කෑවෙ අවුරුදු ගානකට පස්සෙ. දැන් ඔයගොල්ලො හිතනවනම් යකෝ අයිස් පැකට් එකක් කාපු එක ගැන බ්ලොග් ලියන්න මූට පිස්සුද කියල..සිරාවටම මට පිස්සු ඇති.
එදා ඒ කාපු අයිස් පැකට් එක කොච්චර රසද කිව්වොත් ලෝකෙ තියන හොඳම අයිස් පැකට් එක මේක වෙන්න ඇති කියලයි හිතුනෙනම්. ඒ එක්කම අවුරුදු ගානක් අමතක වෙලා තිබ්බ අතීත මතක රසයක් දිවට දැනුන නේද කියල මතක් වුනේ ටික වෙලාවකින් පස්සෙ.

ඒ එක්කම මගේ මතකය ඉස්කොලෙ කාලෙට ගියෙ ඉබේටම. ඒ කියන්න මගෙ 4  5 වසර කාලෙට. ඒ කලේ අයිස් පැකට් එකක් රුපියලයි. ලොකු සයිස් එක රුපියල් දෙකයි. ඒ දවස් වල ගෙදරින් අතට සල්ලි හම්බවෙන්නෙ නැති තරම්. හම්බවුනත් හම්බවෙන්නෙ මැක්සිමම් රුපියල් පහයි. ඉස්කොලෙ ඇරිල කෙලින්ම එන්න ඉස්කොලෙ ඉස්සරහ කඩේට. ඔය වෙනකොට අතේ තියෙන්නෙ රුපියලයි. අනිත් ටිකට ඉන්ටවල් එකේ බබා හම්බවෙනව. මගෙ සගය යාපා. උගෙ අතෙත් කීයක් හරි තියනව. දෙන්න එකතු වෙලා සමාදානයෙන් අයිස් පැකට් දෙකක් ගන්නවා. සමහර දවස් වලට ඌ 1.50 මම සත 50. (මේ කතා කරන්නෙ ලංකාවෙ සත 50ටත් ලාවට හරි වටිනාකමක් තිබ්බ කාලෙ ගැන) සමහර චාටර් දවසකට 2කට සල්ලි නෑ.ඉතින් එකක් අරගෙන දෙන්න සමාදානෙන් බෙදාගන්නව. පැකට් එක කඩන්න කලින් මැදින් සීමාවක් ලකුණු කරනව අයිස් කැල්ල කඩල. අයිස් පැකට් සමාදානෙන් කාල තියන අය දන්නව ඇති මුලින් කන එකාට වැඩේ වාසී කියල. හේතුව තමා ඌ උගෙ කොටස කනකොට අයිස් පැකට් එක උරනකොට මුලු අයිස් පැකට් එකේම සාරය මුලින් කන එකාට සෙට් වෙනව. අනිකට නිකම්ම නිකන් අයිස් කෑල්ල විතරයි.මුලින් කන එකා  "සාධාරන භාවිත ප්‍රතිපත්තිය" ක්‍රියාත්මක කලොත්  ඔන්න දෙවනියට ටිකක් චාන්ස් එකක් එනවා. ඔහොම අයිස් පැකට් එක කාල ඉවර වෙලා හිස් පැකට් එක පුම්බල හුළං හිර කරල කාගෙ හරි එකෙක්ගෙ කණට ලං කරල පුපුරවල ළදරු ආතල් එකක් ගන්නත් අමතක කරන්නෙ නෑ.

ඉතින් ඔය කාලෙ ඉවර උනානෙ.අපි ලොකු වෙලා ඩයල් උනානෙ. ඊට පස්සෙ අර වගේ පුන්චි පුන්චි ආතල් ගන්න මට අමතක උනා.ඊට වඩා කොච්චර වැදගත් වැඩ මට තිබ්බද?
 
ඇත්තටම අයිස් පැකට් එකක් රුපියල් පහකට වැඩි නෑ.(උද්ධමනය අයිස් පැකට් එකටත් බලපාල) ඒ වගේම ඕනම ගමේ ගොඩේ කඩේක තියනව. ඒත් පහුගිය කාලෙ පුරාවට ඕකක් කඩෙන් අරන් කන්න මට හිතුනෙ නැත්තෙ ඇයි?
 
එකපාරටම වැරදිලා වගේ හිතිල අවුරුදු ගානකට පස්සෙ අයිස් පැකට් එකක් කෑවම මෙච්චර හැඟිමක් ඇතිඋනේ ඇයි කියල මම දහ අතේ කල්පනා කලා.අන්තිමට මට මෙන්න මේ ටික හිතුන. අපි ජීවිතේ ඉස්සරහට යනකොට පුංචි පුංචි දේවල් ගොඩක් අපිට අමතක වෙනව. ඒ පුංචි දේවල් මැද්දෙ හිතාගන්න බැරි තරම් දෙයක් තියනව කියල ගොඩ කාලෙකට පස්සෙ අපිටමතක් වෙනවා.ඒ උනාට අපිට ඒ දේවල් හොය හොය ඉන්න කාලයක් නෑ. ඉට වඩා දේවල් අපිට හොයන්න අපේ ඉස්සරහ තියනවා. 

අන්තිමට මට හිතුනෙ මෙන්න මේක. හෙන කාලෙකින් අයිස් පැකට් එකක් කාල මාර ආතල් එකක් ආව කියල හැමදාම අයිස් පැකට් විතරක් කාල ජීවත් වෙන්න පුලුවන්ද?

4 comments:

  1. අපි කියන්නෙ අයිස් පැකට් නෙවෙයි, බීම පැකට් කියල. බීපු කාලයක් මතක නෑ. :/

    ReplyDelete
  2. හප්පා මටත් ඔය පැකට මතක් උනේ සෑහෙන කාලෙකින්...... කන්න ඔනා...හැබැයි දැන්නම් රුපියල් 5ක් විතර වෙනව ඇති....

    ReplyDelete
  3. "ඔය අටමගලෙ ගෙනාපු වෙලේ ඉඳල මෙහෙ ඉන්න එකාටත් ඔක්කොම අමතක වෙනව"

    හි හි මම හිතන්නේ හැම ගෙදරකම තත්ත්වය එකම වගේ.. :D

    ReplyDelete
  4. @ තමීර : මොනව කිව්වත් අන්තිමට බඩටනේ

    @ අපරාජිතයා : ඔය කිව්වට උඹටත් ඕක අමතක වෙනවා...බලපන්කෝ

    @ ChammA : ලංකාවෙ ඊලඟ පරම්පරාවම ඔහොම තමා

    ReplyDelete