Tuesday, July 26, 2011

සුන්දර නමුණුකුල

අධ්‍යාපනික විදියට හරි, ගවේශණ විදියට හරි, නැත්නම් fun එකට හරි මෝඩ ආතල් එකකට හරි  trip යන එක නම් දැන් සිද්ද වෙන්නෙ ගොඩක් අඩුවෙන්. මොකක් හරි එක ජීවන රටාවකට පුරුදු උනාම වැඩක් තිබ්බත් නැතත්  ඒකෙන් අත් මිදෙන්න මාර අමාරුයි. අනික මොකක් හරි ගමනක් යන්න කට්ටියටම පුලුවන් දවසක් හොයන්න සතියෙ දවස් 7ට අමතරව තව දවසක් අඳුන්නල දෙන්න වෙනවා. කොහොම හරි ගොඩ කාලෙකට පස්සෙ බොහොම සුන්දර ගමනක් යන්න අවස්ථාවක් ලැබුනා. අපේ ගමනාන්තය උනේ සුන්දර නමුණුකුල කඳු මුදුන. මේ වගේ ගමන් ගැන එච්චර අත්දැකීම් නැතත් බාගෙට adventure උපරිම fun මේ ගමන ගැන පොඩි සටහනක් මේ විදියට කරන්න හිතුනා.

මුලින්ම නමුණුකුල නැන දන්න විස්තර ටිකක් කියන්නම්. නමුණුකුල කියන්නෙ බදුල්ල දිස්ත්‍රිකයෙ බදුල්ල නගරයට ආසන්නයෙන් (ටිකක් දුරයි) තියන කන්දක්. 1:50,000 සිතියමට අනුව මේකෙ උස මීටර් 2035.76ක්. ලංකාවෙ 11 වෙනියට උසම කන්ද මේක කියල තමා කියන්නෙ.

තේ වත්ත මැදින්...
අපි කොළඹින් ගමන පටන් ගත්තෙ ‍රැ 8.00 ට පටන්ගන්න බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙන්. ගමන low cost එකක් නිසා අපිනම් ගියෙ 3 වෙනි පන්තියේ. පුරුදු පරිදි හරියටම 7.59 වෙද්දි ස්ටේෂමට ආපු නිසා හිටගෙන තමා ගමන පටන්ගත්තෙ. ඒත් ඉතින් ඒක ප්‍රශ්නයක් උනේ නෑ. පොල්ගහවෙල හරියෙදි සීට් හම්බවුනත් කාටවත් ඉඳගන්න ඕන උනේ නැත්ත කට්ටියම සින්දු කියන්න පටන් අරන් හිටිය නිසා. කොහොමහරි සින්දු කිවිල්ල ඉවර උනේ දන්න ඔක්කොම වගේ සින්දු ටික ඉවර වෙලා අන්තිමට බොඳ මීදුම්, පබා ටෙලි  නාට්‍ය වල theme song ටිකත් කියල ඉවර උනාට පස්සෙ. අන්තිමට හැමෝම සීට් එක ගානෙ බදු අරගෙන හොඳට වැටිල නිදාගත්ත. ආපහු ඇහැරුනේ බණ්ඩාරවෙල හරියෙදි. වෙලාව  ඉතුරු කරගන්න ඕන නිසා අපි කෝච්චියෙදිම උදේ ආහාරය ගත්තා. (දත් මැද්දද කියල අහන්න එපා)ඔය අතරෙ කෝච්චි පාර දෙපැත්තෙ පේන සුන්දරත්වය විඳගන්නත් අමතක කලේ නෑ.  කොහොමහරි එදා  ටිකක් වේලාසනින් (7.45 වගේ වෙද්දි) night mail එක බදුල්ලට ලඟා උනා. කොහොමහරි 8.00 කෝච්චිය අල්ලන්න 7.59 ට ආපු නිසා කොළඹින් ගන්න අමතක වෙච්ච අඩුම කුඩුම බදුල්ලෙ හොයන්න තව පැය 2 ක් විතර වැයකරන්න උනා.

තේ වත්ත මැදින්...
 අපේ වාසනාවට අපේ කඳු නැගීම පටන්ගන්න බලාපොරොත්තු වෙන දෙවනගල ( මේ ඇරෙන්න නමුණුකුල කන්ද තරණය කරන්න පටන්ගන්න පුලුවන් ගොඩක් තැන් තියනවා) වෙනකන් යන වාහනයක් හොයාගන්න අපිට පුලුවන් උනා. ඒක ඒ පැත්තෙ ලයිමක වාහනයක්. ඒ නිසා බොහොම අඩු මුදලකට කන්ද පාමුලටම යන්න අපිට  පුලුවන් උනා. ඌව වෙල්ලස්ස කැම්පස් එක පහුකරගෙන මහියංගන පාරෙ ටික දුරක් ගිහින් අපි දෙවනගලට ලඟා උනා. දෙවනගලින් කන්ද නගින්න පටන් ගන්නකොට 12 පහුවෙලා තියෙන්න ඇති. හැමෝගෙම අතේ තිබ්බ බෑග් එකට අමතරව තව ගොඩක් දේවල් උස්සන් යන්න සිද්දවුනා. කිලෝ 15ක් විතර බර කූඩාරම් 2ක්, ලන්තෑරුම, උයන්න හට්ටි මුට්ටි හාල් තුනපහ පිඟන් වතුර බෝතල් වගේ දේවල්. උයන ඒව කියද්දි මතක් උනේ අපි නම් ගෙනිච්චෙ මැගී පිටි කල පොල් කිරි. ඕව නැති කාලෙ නම් කට්ටියට පොල් ගෙඩි හිරමන හිටන් ගෙනියන්න වෙන්න ඇති නේද?

එක කූඩාරමක්....
කුඩා තේ කෑල්ලක් තරණය කරල  අපි කැලේට පිවිසුනා. කොහොමත් පැය 2 ක විතර අමාරු ගනමකින් පස්සෙ අපි කන්ද මුදුනෙ තැනිතලා බිමට ලඟාඋනා. මේ වෙනකොට අපි පහලින් පුරවගෙන ආපු වතුර ඔක්කොම ඉවරවෙලා හරිම අමාරුවෙන් හිටියෙ. මේ මෙහෙට පායන කාලෙ නිසා කන්ද නගිනකන්ම කිසිම වතුර උල්පතක් හම්බඋනේ නෑ. ඒක කවුරුත් බලාපොරොත්තු නොවුනු දෙයක්. ( මේ වගේ ස්වාභාවික පරිසර පද්ධති වල පවා වතුර උල්පත් හිඳිල කියන්නෙ ඇත්තටම තත්වෙ භයානකයි නේද?)  කන්ද මුදුනේ ලිඳක් සහ වතුර වලක් තිබ්බට ඒ දෙකේම වතුර බොන්නවත් උයන වැඩ වලටවත් සුදුසු මට්ටමේ තිබුනෙ නෑ. ඒ නිසා වතුර හොයන්න වෙන පැත්තකින් ආපහු පල්ලෙහාට බහින්න අපිට සිද්ද උනා. අන්තිමේ පැයක් විතර හොයල හොයල යන්තම් පුංචි වතුර පාරක් හොයාගන්න පුලුවන් උනා. අපි හවස් වෙන්න කලින් මුදුනට ආපු එක හොඳට ගියා. නැත්නම් රෑ වෙලා වතුර හොයන්න ගියානම් ඒක අමාරු වගේම භයානක වැඩක් වෙන්න තිබ්බා.

කඳු වළල්ල...
ඊට පස්සෙ ඉක්මනටම උයන්න පටන් ගත්තා. කට්ටියක් දර හොයද්දි කට්ටියක් කූඩාරම් දෙක ගැහුවා. උයන වැඩේටනම් හුළඟින් මාර බාධාවක් උනේ. ලිප පත්තු කරන්න හෙන ගේමක් දෙන්න උනා. දවල්ට බත් එක්ක ව්‍යාංජන දෙකකුයි රෑට කඩලයි තමා හැදුවෙ. අඩු පීඩනයක් තියන ,පට්ටම සීතල, හොඳට හුළං හමන තැනක කඩල තම්බනව කියන එක මෝඩ වැඩක් කියල තේරුනේ වැඩේ පටන් ගත්තට පස්සෙ. ඉර බැහැල යනවත් එක්කම පොඩ්ඩ පොඩ්ඩ හුළඟ වැඩි වෙන්න ගත්තා. කඳු මුදුන නිසා කිසිම මුවාවක් නෑ. ඒ තියා උස ගහක් වත් නෑ. ඒ නිසා අපිව කෙලින්ම හුළඟට නිරාවරණය උනා. ඊලඟට ඒ හුළඟ අරන් ආපු සීතල. හුළඟ නිසා නිමෙන්න ඔන්න මෙන්න වෙන ගිනිමැලයට ඒ සීතල මකන්න බැරිවුනා. රෑ වෙන්න වෙන්න හුළඟයි සීතලයි දෙකම දරාගන්න බැරි තරමට වැඩි උනා. ඒ අතරෙ මහ රෑ අපේ එක කූඩාරමක් ගැලවිලා ගියෙ හුළඟට ඔරොත්තු දෙන්නෙ නැතුව. ඒ නිසා හැමෝටම ඉතිරි උනේ එක කූඩාරමයි. අන්තිමට ඒ සීතලේ නින්දත් නොනින්දත් අතර මැද තැනක කාලය ගෙවිල ගියා.
උයපු හැටි....
කඳු මුදුනේ තැනිතලාව...
දළ බෑවුමේ පහලට...
නම නොදන්න අමුතු මලක්...
පහුවෙනිද උදේ අයෙමත් උයන වැඩේ සෙට් උනා. වතුර ඉවර උන නිසා වතුර ගේන්න අයෙම පහලට යන්න උනා. එත් වතුර ගේනකන් බලන් ඉන්න බැරිඋන අපේ සගයෙක් මඩ වතුරෙන්ම පරිප්පු එක ලිපේ තිබ්බා. ඒ අතරෙ කන්දෙ සිග්නල් තිබ්බ එකම තැනට ගිහින් අපේ මල් කඩන කට්ටිය  උදේ පූජාවට මල් ටික එහෙම කඩාගත්තා. දවල්ටත් එක්කම සප්පායම් උන අපි පිටත් වෙන්න සූදානම් උනා. කියන්නම ඕන ගෙනිච්ච කිසිම දෙයක් කඳු මුදුනෙ දාල ආවෙ නෑ. ඒත් කලින් එකතු වෙලා තියන වීදුරු ක‍ටු කුණු ගොඩක් නමුණුකුල කන්දෙත් තියනව කියල  ලැජ්ජාවෙන් උනත් කියන්න  ඕන ( මේව කරන්නෙත් අපේම අය නේ) අන්තිමට ලිප්, ගිනිමැලය වතුර දාල නිමල කන්දෙ වෙන පැත්තකින් ආපහු බහින්න පටන් ගත්තා.(ස්ප්‍රින් වැලි ටවුන් එක පැත්තට ) වෙලාවකට අඩි පාරවල් තියන ,තව වෙලාවක අඩි පාරවල් නැති දල බෑවුමක් තමා අපිට හම්බඋනේ. වේලුනු පොලවෙ වැටිල තිබ්බ කොලරොඩු නිසා පාර හිතනවාට වඩා ලිස්සනසුලු උනා. ගොඩක් අපහසු උනේ බර උස්සගෙනම බහින්න උන එකයි. අපේ කූඩාරම් තිබ්බ බෑග් කීපවතාවක්ම පල්ලමේ මහ දුරක් ලිස්සල ගියා. පැය 3 ක් විතර බැස්මකින් පස්සෙ යන්තම් තේ කෑල්ලකට සේන්දු වෙන්න පුලුවන් උනා. එහෙ අයගෙන් තමා අහල දැනගත්තෙ බැහැල තියෙන්නෙ ස්ප්‍රින් වැලි නගරයෙන් කිලොමීටර් කීපයක් එහාට වෙන්න බව.

මුතියංගන විහාරය....
ඊට පස්සෙ හෙව්ව නාන්න තැනක්. මෙහෙත් "බ්ලැක් පූල්" එකක් තියනව කියල දැනගත්තෙ එතකොට. (දන්න විධියට ප්‍රසිද්ධ බ්ලැක් පූල් එක තියෙන්නෙ නුවරඑළියෙ) නාල ස්ප්‍රින් වැලි බස් එකෙන් ආපහු 5 විතර වෙද්දි බදුල්ලට ආවා. අවසාන වශයෙන් බදුල්ල ටවුන් එකේම තියන  මුතියංගනය රජමහ විහාරෙ වැඳල අපේ ගමන අවසන් කලා.

අවසාන වශයෙන් කියන්න ඕන මේ ගමනට කලින් මෙහෙ ආපු යාලුවෙක් සහ බණ්ඩාරවෙල අපේ යාලුවෙක් හිටපු නිසා වැඩේ හුඟක් ලේසි උනා. ඒ දෙන්නටම ස්තූතියි කියලත් කියන්න ඕනා.  ගමන පුරාවට photos ගන්න උනේ ගොඩක් අඩුවෙන්. ඔය දාල තියෙන්නෙ මම phone එකකිනුත් තව කැම් එකකිනුත් ගත්ත photo කීපයක්.
මේ පන දාගෙන කියපු විස්තරය නිතර මෙවැනි ගමන් යන අයටනම් වැඩක් නෑ මම හිතන්නෙ. ඒත් ගොඩ කාලෙකින් මේ විදිය අත්දැකීමක් ලබපු නිසා හැමෝම එක්ක ඒක බෙදාගන්න හිතුනා. අදහස් මොනව හරි තියනව නම් කියන්න අමතක කරන්න එපා.



Saturday, July 16, 2011

Ready සහ ලංකාව

අමාරුවෙන් Ready film එක බලල ඉවර උනා විතරයි. අමාරුවෙන් බැලුව කිව්වෙ මුකුත් ඇඟේ පතේ අමාරුවක් තිබ්බෙ නෑ. පරණ අච්චුවෙම  මෙලෝ රහක් නැති සාම්ප්‍රදායික හින්දි කතාවක් බලන් ඉන්නකොට නැති අමාරුත් ඇතිඋනා. මැදින් වැඩේ අතෑරල දාන්නෙ නැතුව ඔච්චර අමාරුවෙන් film එක බලාගෙන හිටියෙ වෙන මොකවත් නිසා නෙමේ. මේක ලංකාව කියන සුන්දර රටෙත් රූපගත කරල තියනව කියල අහල තිබ්බ නිසා. 

ඒත් ඉතින් මේකෙ "මෙන්න මෙන්න ලංකාවෙ තැනක්" කියල ආසාවට අඳුනගන්න පුලුවන් තැනක් දැක්කෙම නෑ. බස් එකේ යනගමනුයි, TV එකෙයි දැකල තියන හොටෙල් දෙක තුනක් වගේ නම් අමාරුවෙන් අඳුනගත්තා.  ඒ ඇරෙන්න ලංකාවෙ කරපු අනිත් ඔක්කොම රූපගත්කිරීම් කරන්න ඇත්තෙ හෝටල් කාමර ඇතුලෙ. ( ඒක දැක්කෙ මෙතන තියන video එකකින්) . හැබැයි තායිලන්තෙ නම් මෙන්න තායිලන්තෙ කියල හොයාගන්න පුලුවන් විදියෙ තැන් ගොඩක් (ගීත ජවනිකාත් එක්ක) තිබ්බා.

හරි... අවුලක් නෑ.. film එකට ඕන ඒව එපෑ රූපගත කරන්න. මට තියන ප්‍රශ්නෙ මේකයි. මේ film එක ලංකාවෙ රූපගත කලා කියල ලංකාවට ලැබුනෙ මොනවද? ඒ දවස් වල සලමන් ඛාන් ලංකාවට ඇවිල්ල film එකක් කරනව කියල media වල 1000 talks දුන්න මතකයි. ශ්‍රි ලාංකීය චිත්‍රපට කලාවේ ප්‍රගමනය, ජාත්‍යන්තර තාක්ෂණය වගේ බර වචන දදා තමා ඕක විග්‍රහ කලේ. ඔය කිව්ව ඒවගෙන් දෙක තුනක් හරි අපි නොදැන හරි හම්බවුනානම් ලොකු දෙයක්.  iifa ලංකාවට ගෙනල්ල මෙලෝ සෙතක් උනේ නෑ වගේ iifa නිසා  ලංකාවට ආපු Ready film එකෙනුත් ලංකාවට මුකුත් ලැබුනෙ නැති පාටයි.

ඒ උනාට Ready මේ අවුරුද්දෙ වැඩිම අදායම් තියපු හින්දි film එක උනා. iifa 2011 කැනඩාවෙ ටොරෙන්ටෝ නගරෙ තිබ්බා. ගියපාර I love you Colombo කියල කැගහපු නලු නිලියො සෙට් එකම මේ පාර I love you Toronto කියල බොක්කෙන්ම වගේ කැගැහුව.

ඔක්කොටම පස්සෙ අපිත් ඉතින් download කරන් බැලුවා.....

Wednesday, July 13, 2011

FB Vs G+

Google + කියන වචනෙ අහල නම් ටිකක් කල්. ඒත් ඒක ගැන එච්චර මීටරයක් මට තිබ්බෙ නෑ. මම ඉතින් දැහැමින් සෙමින් FB එකේ චැටක් දාගෙන හිටිය. ඔහොම ඉන්නකොට තමා අහන්න ලැබෙන්නෙ G+ කියන්නෙ FB වගේම සීන් එකක් කියල.(වගේ කිව්වට වගේම නෙමෙයි තමා...ඒත් සමාන්‍ය මිනිහෙක්ට ඔය දෙකේ වැඩි වෙනසක් දැන්ම තේරෙන්නෙ නෑ නෙ.) FB කිව්වම  කියන්න තියෙන්නෙ ඉතින්  මගේ ජීවිතේ වටිනා තරුණ කාලෙන් අම්බානක් වැය කරවන්නම මාර්ක් සකර්බර්ග් අයියට පහල වෙච්ච වටිනා අදහසක් නෙ ඕක. (උගෙ වරදක් නෑ..මගෙයි වරද)   ඌටම සෙට් උනානෙ මම දන්නයි නොදන්නයි යාලුවො සෙට් එකක්ම. ඉතින් ඒ හින්ද මම හිතාගෙන හිටියෙ අයෙ අම්ම මුත්ත කිව්වත් තවත් අලුත් FB එකකටවත්, FB වගේ මොකකටවත් සෙට් වෙන්නෙ නෑ කියල. අලි මදිවට හරක් ඕන නෑ නෙ. 

ඒත් කොහෙද මේ කෘර සමාජෙ මට එහෙම ඉන්න දුන්නද? නෑ නෙ. අද ලැබ් එකට ගියාම ලැබ් එකේ කලු ඇඩ්මින් බඩා කවදාවත් නැතුව සද්දයක් දැම්මනෙ FB යන්න එපා කියල. අපිත් ඉතින් ඌ කියන දේ පිලිපදින්න ඕන නිසා FB එකටම ලොග් උනා. පොඩ්ඩක් විතර ‍රැව්ව තමා.ඒත් අපි ඉතින් ගනං ගත්තෙ නෑ. ටිකවෙලාවකින් අපේ සෙල්ලං ඉවරයි. කලු බඩා උගෙ ඇඩ්මින් බලතල පාවිච්චි කරල තිබ්බ.FB ඇරෙන්න අනික් ඔක්කොටම යන්න පුලුවන්. හම්ම්ම්.... ඉතින් මොනව කරන්නද.හැරිල එන්න තමා හැදුවෙ.ඒත් මාත් එක්ක ගිය එකෙක් විතරක් නැගිට්ටෙ නෑ. මෙන්න මූ G+ එකේ. නිල් පාට රවුමක් වටේට මූණු ගොඩක් කැරකෙනව. ආසාවෙ බෑ....  හරියන්නෑ... ප්‍රතිපත්ති වෙනස් කරන්න කාලෙ හරි කියල තේරුණා.කොහොමත් ඒව තියෙන්නෙම වෙනස් කරන්න නේ. මාත් ඉතින් නමෝ විත්තියෙන් වැඩේට එන්ටර් උනා. අරුටම කියල invitation එකක් එවාගෙන මගේම profile එකක් හදාගත්ත.

ටිකක් එහාට මෙහාට රවුමක් දානකොටනෙ දැක්කෙ මම ඇරෙන්න හෙන සෙට් එකක් දැන්ම වැඩේට බැහැල කියල. කොම්පියුටර් ගැන ඉගන ගන්න සෙට් එකේ 100න් 101ක් ම දැනටම මේකෙ ඉන්නව කියල දැක්ක. ඊට අමතරව බ්ලොග් අවකාශෙ අහල පුරුදු නම් කීපයකුත් G+ වැඩ පටන් අරන් කලින්ම.ඉතින් ආසාවෙ බෑ. මමත් ඇරඹුව කස්ටියව circle ගතකිරීම. කට්ටියම තාම ඉන්නෙ මූලික අවධියෙ. profile pic එක විතරයි පේන්න තිබුනෙ. මමත් ඉතින් ටාර් ගාල FB එකේ ඒ වෙලාවෙ open වෙලා තිබ්බ profile pic එකම එහෙමම කොපි කරල දැම්ම. 
 
එතකොටනෙ මතක් උනේ ..මීට අවුරුදු 4කට විතර කලින් අලුතින්ම FB ආපු දවසෙ මේ වගේම ලැබ් එකකදි myspace එකේ තිබ්බ ෆොටෝ එකක් තමා මුලින්ම කොපි කරල FB  එකට දැම්මෙ. එදායින් අවුරුදු 4 පහුවුන අද වෙනකොට මට myspace passward එකවත් හරියට ෂුවර් නෑ.

soical networking කියන එක මම මුලින්ම අහන්නෙ විජය පරිඝනක සඟරාවකින්. ඒකෙ තිබ්බෙ ඉතින් සිංහලෙන් සමාජශාලා වෙබ් අඩවි කියලද කොහෙද. ඔය කාලෙ මම ඒ ලෙවල්...මාක් සකර්බර්ග් අයිය කැම්පස්... කෙල්ල දාල ගිහින් නැතුව ඇති ඒ වෙනකොට මම හිතන්නෙ.මිනිස්සු yahoo වලින් search කරනවා. මම අපේ තාත්තට කියනව A/Lවලින් පස්සෙ කෑෆේ (තේ බොන ඒව නෙමේ) එකක් දාගත්තනම් මරු බිස්නස් කියල. තාත්ත මට XXXXXXXX.

Combine Maths දවසම ක්ලාස් තියනකොට සවස තේ පානය සඳහා පන්තිය මදකට නතරකරද්දි මම දවසේ ඉනිම නවත්තල දවල්ට කාල ඉතුරු වෙච්ච රු 50 ( පැයට 50යි.විනාඩි 5 ක් වැඩි උනොත් 100)කුත් තියාගෙන cafe එකකට රිංගනව. ඕවගෙ තියන on වෙන්න පැය කාලක් විතර යන හපු‍ටු කොම්පියුටරටක තමා මම මුලින්ම myspace account එකකුයි Hi5 account එකකුයි හදන්නෙ. ඔය වචන දෙකම මම අහුලගන්නෙ පරිඝනක සඟරාවෙන්. Account හැදුවයි කියල ඉතින් හැදුවම තමා.එතනින් එහාට ලස්සන කෙල්ලෙක්ව වගෙ දැකපු ගමන් බකස් ගාල  add කරගන්න එක වගේ ඇරෙන්න වෙන දෙයක් කලේ නෑ. ඒ කාලෙ ඊට වඩා කරන්න වැඩ තිබ්බ. වෙලාවට පඳුරකට ගැහුවොත් internet dongel පහ හයක් එලියට විසි වෙන්න මම දෙපාරක් A/L කරලත් තව අවුරුදු දෙක තුනකුත් ගත්වුනේ. (නැත්නම් තාම A/L)

කොහොම හරි සකර්බර්ග් කාපු බූට් එකෙන් පස්සෙ සෙට් වෙච්ච The FB එක FB වෙලා ක්‍රියාශිලී සාමජිකයො මිලියන 750ක් වෙනකන් ආපු ගමනෙ මමත් පොර එක්කම හිටියා..මිනිහ ලෝකෙ ලාබාලම ධනවතා උනා(අබමල් රේණුවකවත් ඊරිසියාවක් නෑ ඕං..මම නම් කියන්නෙ මිනිහගෙ හැකියාව සහ වෙලාව). ඔච්චර  සෙට් උනාටත් පස්සෙ ඕකට කෙලවන්න මොකක්වත් එයි කියල සකර්බර්ග් වත් හිතන්න  නැතුව ඇති.
කොහොමහරි searching කියන වචනය වෙනුවට googling කියල අලුත් වචනයක් හඳුන්වල දීපු සෙට් එක soical networking වලටත් සෙට් වෙලා. ඔන්න අනිත් අය ගිය නිසා මාත් ගියා. කොහොමත් අලුත් අලුත් දෑ තැනීම කෙසේ වෙතත් අලුත් අලුත් දෑ වැලඳගැනීම අතින් නම් අපි ලෝකෙ නොම්බර 3 කියලයි... G+ වැඩියෙන්ම බදාගෙන තියෙන්නෙ ඉංජො කියලයි මම දැනගත්තෙ මෙන්න මේ බ්ලොග් එකෙන්.

අනාගතේ ගැන හීන දකින්න දැන්මම කල් වැඩි උනත් අතීතයේ උන දේවල් නැවතත් සිද්දනොවෙයි කියල කාටද කියන්න  පුලුවන්. හැමෝම යන පැත්තට අපිටත් යන්න වෙයි. නැත්නම් අපි තනිවෙයි. එහෙම උනත් නොවුනත් ඒ හැඟීමටත් අපි බයයි නේ. මම ලෑස්තියි......වැල යන පැත්තට මැස්ස බඳින්න මම රෙඩි...

 තව අවුරුදු 4කින් මට මොකකට හරි profile pic එකක් ඕන උනොත් එදාට G+ එක තියෙයි නේ.......

Thursday, July 7, 2011

අලුත් පෙම් කවිය

නුවන් යුග පිබිදිලා
බොහෝ කලකට පසුව
දකින්නට හීනයක්
මග බලා සිටිනවා

දෙසවනත් සැරසිලා
මෙතෙක් නෑසී තිබුණු
පුංචි මුණු මුණුවකට
ඉඩ හදන් සිටිනවා

දෑත අසරණ වෙලා
සොයයි ඉස්පාසුවක්
ලබන්නට ඒ පහස
නොදැනීම සැලෙනවා

හදවතට ඉඩක් නෑ
දරා ගන්නට හැඟුම්
අසුරු සැණකට වරක්
එකින් එක වැඩෙනවා

ලියන්නට සිත් වෙලා
මේ අලුත් පෙම් කවිය
මටත් පෙර මගේ සිත
සැරසිලා සිටිනවා.....

Sunday, July 3, 2011

බස් හෝල්ට් එකේ සිට...

බලන් හිඳ ඔයා දෙස
එනතුරා හිමිහිමින්
කහ ඉරෙන් මාරු වී
අපේ බස් නැවතුමට
අදත් මට මිස් උනා
යන්න හිටි බස් රථය
තවත් එක වතාවක්
මට හුරු පුරුදු ලෙසම

තවත් පැය බාගයක්
දෙදෙනාම එක ලඟින්
ඔයා ඔහු එන තුරා
මම බසය එන තුරා