Wednesday, June 29, 2011

ස්වයංජාත පොතෙන් ඇරඹී ස්වයංජාතව අවසාන වීම

අද පොඩි විචාරයක් කරන්න යන්නෙ. මම බොහොම ආසාවෙන් බලපු ස්වයංජාත ටෙලිනාට්‍යය ගැන. මේ නාට්‍යය අවසානෙ මගේ හිතට ප්‍රශ්න ගොඩක් ආවා. ඒ ප්‍රශ්න ටික තමා ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. මම දන්නෙ නෑ කොයිතරම් දුරට බ්ලොග් කියවන අය ටෙලිනාට්‍යය බලනවද, ටෙලිනාට්‍යය බලන අය බ්ලොග් කියවනවද කියල.

බ්ලොග් කියවන අය අතරෙ ඉන්නවද ස්වයංජාත ටෙලිනාට්‍යය බලපු කට්ටිය. ඒ වගේම නාට්‍යත් බලල පොතකියවල තියන අය. ස්වයංජාත ටෙලිනාට්‍යය කියන්නෙ පහුගිය කාලෙ ලංකාවෙ හැට හුටාමාරක් චැනල් වල ගිය ටෙලිනාට්‍යය අතරින් බලන්න පුලුවන් මට්ටමේ තිබ්බ එකම එක ටෙලිනාට්‍ය කියලයි මට නම් හිතෙන්නෙ. මේ නාට්‍යය නිර්මාණය කරල තිබ්බෙ සමරවීර විජයසිංහ මහතාගෙ ස්වයංජාත කියන නවකතාවෙන්. මමත් මේ නාට්‍යය පටන්ගන්නකොට මේ පොත ගැන දැනගෙන හිටියෙ නෑ. එත් නාට්‍යයේ කොටස් කීපයක් යනකොට මේ කතාව අනිත් ඒවට වඩා ගොඩක් වෙනස් එකක් බව පැහැදිලිවම පෙනුනා. ඒ වගේම මේ කතාව රූප මාධ්‍යයට නගන්න ලංකාවෙ හැටියට ගොඩක් ලොකු වෙහෙසක් අරගෙන තිබ්බා. මේ නිසාම කතාවෙ කොටස් කීපයක් යනකොටම මේ පොත කියවන්න ලොකු ආසාවක් මට ඇතිඋනා. කොහොමහරි අවසානයේ පොත හොයාගෙන කියවනකොට නාට්‍යයේ මැද හරියට ඇවිල්ල තිබ්බා.

මේ හින්දම පොත කියවනකොට කතාවෙ චරිත වලට මගේ මනසෙ ඇඳුනෙ ටෙලිනට්‍යයේ රඟපාන චරිතමයි. මේ කතාව ගොඩනැගෙන්නෙ 1920-1970 කාල වකවානුවෙ. මේ කතාවෙ මුල හරිය මෙන්න මේ වගේ. පබිලිනා හාමි කියන්නෙ දරුවන් නැති බව නිසා සිත් තැවුලෙන් සිටින කාන්තාවක්. මේ ගමේ පන්සලේ වැඩසිටිනව යක්කුටිගල හාමුදුරුවො කියල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වෙදකම් දන්න හාමුදුරු නමක්. මේ හාමුදුරුවො මුහුනුවරින් ගොඩාක් විරූපියි. ඒ වගේම බොහොම නිශ්ශබ්ද භාවනාවට යොමුවුන කෙනෙක්. පබිලිනා හාමි දරුවෙක් ලබාගන්න බලාපොරොත්තුවෙන් මේ හාමුදුරුවන්ගේ වෙදකම් ගන්න යොමු වෙනව. කොහොමහරි අවසානයේ පබිලිනාහමිට ලැබෙන දරුව මුහුනුවරින් මේ හාමුදුරුවො වගේම වෙනව. මේ නිසා  පවුලෙන් එන අවමාන නිසා පබිලිනා වස බීල මියයනව.

අන්තිමට මේ දරුවව හදාගන්නෙ පබිලිනාගෙ නංගි එමලිනා හාමි. කතාවෙ ඉතුරු කොටස ගොඩනැගෙන්නෙ විභූතිරත්න ( මේ දරුව - ජගත් චමිල) එමලිනාහාමිගෙ දුවල දෙන්න වෙන පබාවති(  චතුරික පීරිස්)  සහ මන්ද්‍රි (නිලියගෙ නම දන්නෙ නෑ) එක්ක ගතකරන ජීවිතෙත් එක්ක.

ඉතින් මම කිව්ව වගේ පොත කියවද්දි මම මේ චරිත ඒ විදියටම හිතේ තියාගෙන තමා පොත කියෙව්වෙ. එක හුස්මට බොහොම ආසවෙන් පොත කියවල ඉවර කලා. පස්සෙ ඉතින් බලාගෙන හිටියෙ මේ කතාව රූප පෙට්ටියෙ ගොඩනැගෙන්නෙ කොහොමද කියල. අනේ.... ඒත් උනේ වෙන දෙයක්. එන්න එන්න කතාව පොතේ තියන කතාවෙන් වෙනස් වෙන්න ගත්තා. පොතේ එන විභූතිරත්නගෙ චරිතය බොහොම නිශ්ශබ්ද හිනාවත් නොවන බොහොම ශක්තිමත් ශරීරයක් තියන චරිතයක්. ඒත් ටෙලිනට්‍යයේ මේ ලක්ෂන ගොඩක් අඩු කරල තමා චරිතෙ ගොඩනැගුවෙ. පොතේ කියවෙන විභූතිරත්නගෙ ශරීර ශක්තිය ගැන නාට්‍යයේ සඳහන් උනේ නැති තරම්. ඒ වගේම නාට්‍යයේදි පොතේ තියෙන මූලික කතාවට වඩා වෙන කතා ගොඩක් එකතු කරල ඒ කතාවල් වලට මුල් තැන දීල තිබ්බ. විභූතිරත්නගෙ කතාව කියනවට වඩා අන්තිම කාලෙදි නාට්‍යය වෙන්වුනේ ලංකාවෙ ඒ කාලෙ ඇතිවෙච්ච සමාජ වෙනස ගැන කියන්න. ඒකට මේ කතාවෙ ආපු එක එක චරිත යොදා ගත්ත. හරියට ගම්පෙරලියෙ උනා වගේ. උදාහරණයක් හැටියට මන්ද්‍රී කොලඹ ගියාට පස්සෙ වෙනස්( සින්ගලෙන් කිව්වොත් "පොෂ්") වෙන එක, සමසමාජ ව්‍යාපාරය ගැන කතාව වගේ පෙන්නල දෙන්න පුලුවන්. ඒකෙ වරදක් නෑ. ඒත් එහෙම කිසිම දෙයක් පොතේ තිබ්බෙ නෑ.

මොන විදියට කතාව ගලාගෙන ගියත් අඩු තරමින් අවසානය වත් පොතේ තිබ්බ විදියට වෙයි කියල මම බලපොරොත්තු උනා. නමුත් ඒකත් ඊට හාත්පසින්ම වෙනස් විදියට තමා අවසන් උනේ.(පොතේ එන විදියට පබා සහ විබූතිරත්න එකතු වෙනව වෙනුවට ඒ දෙන්න වෙන්වෙන විදියට අංශක 360 ක වෙනසකින් තමා නාට්‍යය අවසාන උනේ)

මට තියන ප්‍රශ්නය මේකයි. නවකතාවක් රූපමාධ්‍යට ගද්දි මේ විදියට ඒ මුල් කතාවට හානි කරන එක සාධාරනද? ඒක ඒ නවකතාව කියවපු අයට කරන අසාධාරනයක් නෙමේද?

මොනව උනත් ස්වයංජාත ටෙලිනාට්‍යය ලංකාවෙ නිර්මාණය වුන හොඳම නාට්‍යය අතරට එකතුවෙනව කියන එකනම් කියන්නම ඕන. එත් කතාව වෙනස් කරපු එක තමා ගැටලුව.

අවසාන වශයෙන් මේ ටෙලිනාට්‍යයෙ තේමා ගීතය ගැන යමක් කියන්නම ඕන. විශාරද නන්දා මාලනී සහ සුනිල් එදිරිසින්හයන් විශින් ගායනා කරන මේ ගීතය මම ජීවිතේ අහපු ලස්සනම (සංගීතයෙන් විතරක් නෙමේ අර්ථයෙනුත්) ගීතයක් කියලත් කියන්නම ඕන.


මේ ගීතයේ තැනක මෙහෙම සඳහන් වෙනවා.

 "ස්වයංජාතව ඉබේ ඇතිවෙන පහන් සිතුවිල්ලක්ද ප්‍රේමය........................."

 පුලුවන් නම් උත්තරයක් දෙන්න................



ඡායාරූප උපුටාගත්තෙ ස්වයංජාත facebook page එකෙන්....
http://www.facebook.com/pages/Swayanjatha/135356236500759

Sunday, June 26, 2011

මට හිතෙන්නෙම නෑ යන්න

මට හිතෙන්නෙම නෑ යන්න
හිත කියන්නෙම ඔයා ආපහු එයි කියල
මට තේරෙනෑ ඇයි කියල
ඒත් ඒක එහෙම තමා
මට ඉන්නත් බැ  යන්න ඕන
මට හරියටම කියනවද
ඔයා එනවමද කියල
ඒත් ඒක කියන්නත් ඔයා එන්න ඕනනේ
මට තව වැඩ ගොඩක් තියනව
මේක NO 1 තමා
ඒත් අනිත් ඒවත් කෙරන්න ඕන
ඔයා කවදහරි ආවොත්
මම මේ කවිය(වගේ එක) ඔයාට පෙන්නනව
මග බලා හිටියට
සාක්ෂිය විදියට



හිත කියවන්න බැරි උනොත් මේකවත් කියවල තේරුම් ගන්න......

Saturday, June 25, 2011

අපි නැග්ගොත් දෙබලක් අංක - n

දන්නවනෙ ඔය උපමාව ගැන. ඕක එක එක අය එක එක විදියට කියනවා. සමහරු ඕක කියන්නෙ අපි නැග්ගොත් පොල් ගහෙත් දෙබලක් කියල. තව අය කියන්නෙ තල් ගහේ දෙබලක් කියල.ඔය තල් පොල් කියන්නෙ තාල  වර්ගයෙ ගස් කියල අපි ඉගනගන්නෙ 4,5 වසරෙ ආරම්භක විද්‍යාවටද කොහෙද නේ.... ඒ දවස් වල තාල වර්ගයෙ ගස් වලට උදාහරණ ලියන්න කිව්වහම පොල්, තල් , පුවක් ලියල අන්තිමට ගස්ලබුත් ලියනවනේ. ඇයි ඉතින් අපි වැඩිපුර දකින්නෙ අතු බෙදිල නැති ගස්ලබු ගස් නේ. පස්සෙ ඉතින් සර් ඩයල් එක වගේ ගස්ලබු ගස් වල අතු බෙදෙනව කියල කිව්වම තමා අපි දැනගන්නෙ ගස්ලබු තාල වර්ගයෙ ගහක් නෙමේ කියලා.

පැන්නනෙ ට්‍රැක් එකෙන්...

අද කියන්න යන්නෙ ඉතින් මට වෙච්ච සීන් එකක් තමා. ඔය title එකේ තියන  උපමාවෙ සත්‍යතාව මට නිතරම ඔප්පු වෙනව. ඇත්තටම ඒක කී පාරක් වෙලා තියනවද කියන්න මට වත් මතක නෑ. ඒක නිසා තමා මම දන්න combined maths පාරක් දාල මේක අංක - n කියල නම් කලේ. ඔතන n කියන එකට ඕනම ධන නිඛිලයක් කියවන ඔයාල දාගත්තට කමක් නෑ. හැබැයි ටිකක් ලොකු අගයක් දාගන්න හරිද....පහුගිය දවසක ඔය n වෙනි සීන් එක උනා. එකේ ඉඳන් n-1 වෙනකන් එව ඔක්කොම කියන්න මටවත් මතක නැති නිසා මේක කියන්නම්.

 කැම්පස් ඉන්න උන් දන්නව පහුගිය කාලෙ කැම්පස් වල ලෙක්චස් තිබ්බෙ නැති උනාට කැම්පස් සෙල්ලං තිබ්බනේ. ඉතින් මේ සෙල්ලං වලට එක එක කැම්පස් වලින් එක එක කැම්පස් වලට සෙල්ලං ටීම් එනව. ඔය විදියට අපේ තිබ්බ සෙල්ලමකටත් ලංකාවෙ හතර දිග්බාගයෙම තියන කැම්පස් වලින් කස්ටිය ඇවිල්ල හිටියා. හපාත් ඉතින් ගියා අපේ උන්ට පොඩි චියර් එකක් දෙන්න. ජීවිතේට සෙල්ලමක් කරල නැති හපාට ඉතින් චියර් කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ඉතින්. ඔන්න ඉතින් ඔහොම කැ ගගහ ඉන්නකොට හපාගෙ නෙත් ගැ‍ටුන ලංකාවෙ කොහෙ හතරදිග්බාගෙකින් හරි සෙල්ලං වලට ආපු සුන්දර යුවතියක්. අප්පා ඒ දසුන දැක්ක විතරයි හපා චියර් කිරිල්ල තාවකාලිකව නවත්වල ඇන්ටනාව ඒ පැත්තට හරවල චැනල් එක මාරු කලා. ඉතින් ඔහොම ටික වෙලාවක් ඉන්නකොට අපේ උන්ට තේරුනා මගේ චැනල් එක මාරු වෙලා කියල.ඇයි ඇන්ටනාව තියෙන්නෙ පිට්ටනියට ප්‍රතිවිරුද්ද පැත්තට නේ.

 පස්සෙ මගෙන් විස්තරේ අහල  උන් ටිකත් මගේ චැනල් එකටම මාරු උනා. ඔන්න දැන් සෙට් එකම මගෙ mission එකට  සප් එක දෙනව. එකෙක් මහා හයියෙන් හපාගෙ නම කියල කෑගහනව. තව එකෙක් මගෙ අහලක වත් නැති ගුණ වර්ණනා කරනව. එක සෙල්ලමයි. දැන් අපි ඔක්කොම බලාගෙන ඉන්නව ඒ පැත්තෙන් respond එකක් එනකන්. ඔහොම වැඩිම උනොත් විනාඩි 10ක් යන්න ඇති. ආව ලස්සන respond එකක්. අර සුන්දර යුවතිය ගත්ත mobile phone එක. පටන්ගත්ත call එකක්. අපරාදෙ කියන්න බෑ. විනාඩි 45 යි. මම හිතන්නෙ ගෙදරට වෙන්න ඇති නේ.............

concution එක හැටියට කියන්න තියෙන්නෙ අපි නැග්ගොත් ඉතින් ඕනම තාල වර්ගයේ ගහක දෙබලක් කියල තමා.. ඔය n වෙනි එකනෙ. n+1 එකත් ලඟදිම වෙයි. අනිවා.ආයෙ 100% සුවර්. කියන්න පුලුවන් මට්ටමේ එකක් උනොත් ඒකත් කියන්නම්....... 


කියාවල ඉවරවෙලා මොනවහරි හිතුනනම් කොමෙන්ට්ටුවක දාල යන්න අමතක කරන්න එපා ඉතින් හරිද............

Wednesday, June 22, 2011

පුන්චි දේකින් ගොඩක් සතු‍ටු වෙන්න සිරාවට පුලුවන්ද?

අද කියන්න යන්නෙ පහුගිය සතියෙ ගෙදර ගිය වෙලාවෙ ලබපු පුන්චිම පුන්චි අත්දැකීමක් නිසා හිතේ ඇතිඋන මහා දිග සිතුවිලි ලොට් එකක් ගැන. සතියෙ දවස් පහම හොස්ටල් එකට වෙලා පොත් අස්සෙයි, අඟල් 14 තිරේ ඉස්සරහටයි වෙලා ගෙවන ජීවිතෙන් ගෙදර ගියාමත් ගැලවෙන්න හිතෙන්නෙම නෑ.( පොත් කෙසේ වෙතත් අඟල් 14 තිරේටනම් අම්බානට ඇබ්බැහිවෙලා ඉන්නෙ) මේක මට විතරක් නෙමේ අද කාලෙ ගොඩක් උන්ට තියන අවුලක් කියල මම දන්නවා.

මේ සම්බන්ධයෙන් අපෙ අම්මගෙයි තාත්තගෙයි නම් එච්චර කැමත්තක් නෑ.. අපේ අම්ම හැමතිස්සෙම කියන්නෙ 
"ඔය මගුල ඉස්සරහට වෙලාම දවස ගෙවන්නෙ නැතුව නරකද ටිකක් එලියට පහලියට බැහැල වත්ත පිටිය ටිකක් සුද්ද කලොත්" 
වගේ කතාවක්.. ඒ එක්කම ඒ සතියෙ මගෙන් ගන්න බලාපොරොත්තු වෙන වැඩ ලිස්ට් එකත් කියාගෙන යනව. ගොඩක් දවස් වලට වෙන්නෙ ඔය එක වැඩකට වත් සෙට් වෙන්නෙ නැතුව සඳුද මම ආපහු හොස්ටල් එන එක. 

තාත්ත තමා නියම කතාව කියන්නෙ. 
"ඔය අටමගලෙ ගෙනාපු වෙලේ ඉඳල මෙහෙ ඉන්න එකාටත් ඔක්කොම අමතක වෙනව" 
ඔය "මෙහෙ ඉන්න එකා" කිව්වෙ අපේ මලයා.. ඌ මේ පාර A/L . ඌටත් මං ගෙදර ගිය දවසට තියෙන්නෙ මගේ ඩොංගල් එකේ කාඩ් එක ඉවර කරන වැඩේ විතරයි.

කොහොමහරි මේ සතියෙ ගොඩ කාලෙකට පස්සෙ ගෙදර ගිහින් එලියට බැස්ස. කොට කලිසම ගහල උදැල්ල අරගෙන වත්තට (මහ ලොකු එකක් නෙමේ හරිද?)මම එනකොට ගෙදර අය බලාගෙන හිටියෙ නිකන් මොකෙද්ද දිහා බලන් ඉන්නව වගේ. මගේ පැමිණීමත් එක්ක අම්ම ප්ලෑන්ස් ඔක්කොම වෙනස් කලා. සංවර්ධන ව්‍යාප්ති ඔක්කොම කඩිනම් ව්‍යාප්ති බවට උසස් කරල කොන්ත්‍රාත් එක මට  බාර දුන්නා.

කොහොම හරි දවස අවසානෙ මම හිතුවෙ ඉස්ම යන්න හන්ටර් වෙලා , පාන් කියාගන්න බැරුවයයි කියල. ඒත් මටත් පුදුමයි එදා ඇඟට වගේම හිතටත් මාර ගටක් දැනුනෙ. හොඳම වැඩේ ඒක නෙමේ. වැඩ කරල ආපු කික් එකත් එක්ක නිකන් පිස්සු වැඩ ටිකක් කරන්න ආසවක් ආව. ඔය ලිස්ට් එකේ මුලින්ම හිතුනෙ අයිස් පැකට් එකක් කන්න.

 ගොඩ කාලෙකට පස්සෙ එදා ඔන්න  මම අයිස් පැකට් එකක් රස වින්දා.මම හිතන්නෙ ඔය මම අයිස් පැකට් එකක් කෑවෙ අවුරුදු ගානකට පස්සෙ. දැන් ඔයගොල්ලො හිතනවනම් යකෝ අයිස් පැකට් එකක් කාපු එක ගැන බ්ලොග් ලියන්න මූට පිස්සුද කියල..සිරාවටම මට පිස්සු ඇති.
එදා ඒ කාපු අයිස් පැකට් එක කොච්චර රසද කිව්වොත් ලෝකෙ තියන හොඳම අයිස් පැකට් එක මේක වෙන්න ඇති කියලයි හිතුනෙනම්. ඒ එක්කම අවුරුදු ගානක් අමතක වෙලා තිබ්බ අතීත මතක රසයක් දිවට දැනුන නේද කියල මතක් වුනේ ටික වෙලාවකින් පස්සෙ.

ඒ එක්කම මගේ මතකය ඉස්කොලෙ කාලෙට ගියෙ ඉබේටම. ඒ කියන්න මගෙ 4  5 වසර කාලෙට. ඒ කලේ අයිස් පැකට් එකක් රුපියලයි. ලොකු සයිස් එක රුපියල් දෙකයි. ඒ දවස් වල ගෙදරින් අතට සල්ලි හම්බවෙන්නෙ නැති තරම්. හම්බවුනත් හම්බවෙන්නෙ මැක්සිමම් රුපියල් පහයි. ඉස්කොලෙ ඇරිල කෙලින්ම එන්න ඉස්කොලෙ ඉස්සරහ කඩේට. ඔය වෙනකොට අතේ තියෙන්නෙ රුපියලයි. අනිත් ටිකට ඉන්ටවල් එකේ බබා හම්බවෙනව. මගෙ සගය යාපා. උගෙ අතෙත් කීයක් හරි තියනව. දෙන්න එකතු වෙලා සමාදානයෙන් අයිස් පැකට් දෙකක් ගන්නවා. සමහර දවස් වලට ඌ 1.50 මම සත 50. (මේ කතා කරන්නෙ ලංකාවෙ සත 50ටත් ලාවට හරි වටිනාකමක් තිබ්බ කාලෙ ගැන) සමහර චාටර් දවසකට 2කට සල්ලි නෑ.ඉතින් එකක් අරගෙන දෙන්න සමාදානෙන් බෙදාගන්නව. පැකට් එක කඩන්න කලින් මැදින් සීමාවක් ලකුණු කරනව අයිස් කැල්ල කඩල. අයිස් පැකට් සමාදානෙන් කාල තියන අය දන්නව ඇති මුලින් කන එකාට වැඩේ වාසී කියල. හේතුව තමා ඌ උගෙ කොටස කනකොට අයිස් පැකට් එක උරනකොට මුලු අයිස් පැකට් එකේම සාරය මුලින් කන එකාට සෙට් වෙනව. අනිකට නිකම්ම නිකන් අයිස් කෑල්ල විතරයි.මුලින් කන එකා  "සාධාරන භාවිත ප්‍රතිපත්තිය" ක්‍රියාත්මක කලොත්  ඔන්න දෙවනියට ටිකක් චාන්ස් එකක් එනවා. ඔහොම අයිස් පැකට් එක කාල ඉවර වෙලා හිස් පැකට් එක පුම්බල හුළං හිර කරල කාගෙ හරි එකෙක්ගෙ කණට ලං කරල පුපුරවල ළදරු ආතල් එකක් ගන්නත් අමතක කරන්නෙ නෑ.

ඉතින් ඔය කාලෙ ඉවර උනානෙ.අපි ලොකු වෙලා ඩයල් උනානෙ. ඊට පස්සෙ අර වගේ පුන්චි පුන්චි ආතල් ගන්න මට අමතක උනා.ඊට වඩා කොච්චර වැදගත් වැඩ මට තිබ්බද?
 
ඇත්තටම අයිස් පැකට් එකක් රුපියල් පහකට වැඩි නෑ.(උද්ධමනය අයිස් පැකට් එකටත් බලපාල) ඒ වගේම ඕනම ගමේ ගොඩේ කඩේක තියනව. ඒත් පහුගිය කාලෙ පුරාවට ඕකක් කඩෙන් අරන් කන්න මට හිතුනෙ නැත්තෙ ඇයි?
 
එකපාරටම වැරදිලා වගේ හිතිල අවුරුදු ගානකට පස්සෙ අයිස් පැකට් එකක් කෑවම මෙච්චර හැඟිමක් ඇතිඋනේ ඇයි කියල මම දහ අතේ කල්පනා කලා.අන්තිමට මට මෙන්න මේ ටික හිතුන. අපි ජීවිතේ ඉස්සරහට යනකොට පුංචි පුංචි දේවල් ගොඩක් අපිට අමතක වෙනව. ඒ පුංචි දේවල් මැද්දෙ හිතාගන්න බැරි තරම් දෙයක් තියනව කියල ගොඩ කාලෙකට පස්සෙ අපිටමතක් වෙනවා.ඒ උනාට අපිට ඒ දේවල් හොය හොය ඉන්න කාලයක් නෑ. ඉට වඩා දේවල් අපිට හොයන්න අපේ ඉස්සරහ තියනවා. 

අන්තිමට මට හිතුනෙ මෙන්න මේක. හෙන කාලෙකින් අයිස් පැකට් එකක් කාල මාර ආතල් එකක් ආව කියල හැමදාම අයිස් පැකට් විතරක් කාල ජීවත් වෙන්න පුලුවන්ද?

Saturday, June 18, 2011

සීයගෙ කතාව

කොහොමද ඉතින්... ගොඩ කාලෙකට පස්සෙ තමා බ්ලොග් එකක් ලියන්න කියල ගොඩ වැදුනෙ.  බ්ලොග් ලියන්න අලුත් කෙනෙක් වෙච්ච මගේ බ්ලොග් එක ලත් තැනම ලොප් වගේ කේස් එකක් නේද වෙලාතියෙන්නෙ කියල පහුගිය දවසක මට හිතුන.  බ්ලොග් ලිව්වෙ නැති උනාට පහුගිය කාලෙ පුරාවටම බ්ලොග් කියවන එකනම් අතඇරල තිබ්බෙ නෑ. බොරුවට "පහුගිය ටිකේ ගොඩක් වැඩ තිබුන" වගේ කතන්දර කියන්න ඕන නෑනෙ. ඇත්තටම මහා ලොකු වැඩක් තිබ්බෙ නැතත් බ්ලොග් එක ලියන්න පොඩි කම්මැලිකමක් තිබ්බා. මගෙ ජීවිතේ ගොඩක් වැඩ පරක්කුවෙන්න ඔය කම්මැලිකම මට බලපාල තියනව. ඉතින් ඔන්න "හපා" ආයෙ ලියන්න පටන්ගත්තා. කියවන එක ඔයාලට බාරයි. එහනම් වැඩිය වැල් වටාරම් නැතුව වැඩේට බහින්නම්. මුලින්ම කියන්න ඕන ඕං... මේක true story එකක්. ඒඋනාට මෙහි එන සියලු නම් ගම් මනකල්පිතයි හරිද...
මේකයි කතාව. අපේ ගෙදරට එන්න පුරුදුවෙලා හිටිය සීයා කෙනෙක්. හිඟමනේ එන කෙනෙක් කිව්වත් හරි. අවුරුදු 70+ මම හිතන්නෙ.  අපේ ගෙවල් පැත්තෙ තියනව ප්‍රසිද්ධ දේවාලයක්. සීය එන්නෙ මේ දේවාලෙට. ඒ එන අතර වාරෙ ගෙවල් වලටත් ගිහින් collection එකක් එකතු කරගන්නව. ටික කාලයක් යනකොට සීය පුරුදු උනා අපේ ගෙදරින් තේ එකක් බීල කෑම ටිකක් කාල එහෙම යන්න. කැම්පස් එකේ චාටර් කකා ඉඳල එපාවෙලා ගෙදර ඉන්න සතියෙ දවසක සීයව සෙට් උනොත් සීයට තේ හදන ජොබ් එක මටත් සෙට් වෙනව.ඔහොම අපේ අම්මයි තාත්තයි එක්ක සීය ගොඩක්  fit වෙනකොට සීයගෙ ජීවිත කතාව සීය අපිත් එක්ක කියන්න පටන්ගත්තා. ඒ කතාවෙ පලවෙනි කොටසින්ම මට ඇතිඋනේ මවිතයක්.
"මහත්තයො"
"මම කොළඹ XXX ඉස්කොලෙට ගියෙ. මම ඉගනගත්තෙ English medium. අපෙ පවුල බොහොම වැදගත් පවුලක්"
සීයගෙ ඉස්කොලෙ කොළඹ තියන ප්‍රධාන ඉස්කෝල වලින් එකක්. සියාගෙ කඩ්ඩ සුපිරි කියල මම දැනගෙන හිටියෙ. සීය කතාකරන අතරතුර professional විදියට කඩ්ඩ කෑලි දානව.
"මම විභාගෙ හොඳට පාස්. ඉස්කෝලෙ ඉවරවෙලා මම ගියා ගල්කිස්ස හෝටලේ වැඩට. එහෙදි තමා මට ලකී කියන මගෙ යාලුවව හම්බවුනේ. " සීය කතාව පටන්ගත්තෙ ඒ විදියට.
"ඕකා තමා මාව කෑවෙ.ඕකගෙ වලටත් හෙන ගහනව මහත්තයෝ" ඔහොම තමා සීය කිව්වෙ. ඒ කතාව හරිද වැරදිද කියල කතාව කියවල ඉවරවෙලා ඔයාලම තීරණය කරන්න.

ඊට පස්සෙ කතාව මෙහෙමයි. ලකීගෙ ගම අපේ ගමට ගමවල් දෙක තුනකට එහා. ලකී මේ සීයව (ඒ කාලෙ වයස අවුරුදු 20ක විතර කොල්ලව) එක්කගෙන එනව සති අන්තෙ මෙයාගෙ ගමට. සීයටත් වෙල් යායවල් තියන කැලැ රොදවල් තියන මේ ගම හිතට අල්ලල යනව. ඒ ඔක්කොටම වඩා සීය තව හොඳට හිතයන එක දෙයක් හොයා ගන්නව. කසිප්පු. මේ ගමේ කස්ප්පු පෙරන්නෙ මේරි. මේරි කියන්න පියවරු හතරදෙනෙකුගෙ දරුවො හත්දෙනෙක් ඒවෙනකොට හිටිය කෙනෙක්. සියට වඩා අවුරුදු එකොළහක් විතර වැඩිමල් කෙනෙක්. ඉතින් අපේ මේ සීයට වෙන්න තියන හොඳම දේ වෙනව. සීයගෙ හිත මේරිට ඇදෙනව. සීය මේරි ගැන හිතුවෙ කොහොමද කියල සීය කියපු මේ කතාවෙන්ම තේරෙනව.
"තාමත් ඒකි එදා වගේමයි මහත්තයො.. පොඩ්ඩක්වත් වයසට ගිහිල්ල නෑ"
ඉතින් ඊට පස්සෙ සීය තමන්ගෙ මුලු ජීවිතේම අතඇරල මේරි එක නවතිනව. ඒකට එක හේතුවක් වෙන්නෙ මේරි තමාගෙ අටවෙනි දරුව බිහිකරන්න ලෑස්තිවීම.
"අපි XXX කච්චේරියට ඇවිල්ල කසාද බැන්ද මහත්තයො...ඊට පස්සෙ XXX හෝටලේට ගිහින් දවල්ට කාල ගෙදර ආවා."
එතනින් ඊට  පස්සෙ මේ සීය තමන්ගෙ අලුත් ජිවිතය මේ ගමේ පටන්ගන්නව. සීයව එක්කගෙන යන්න කොළඹින් සීයගෙ අයියල අම්මල නෑදෑයො කොච්චර ආවත් සීය ඒ අය එක්ක යන්නෙ නෑ. සීය කියන විධියට සීයා මේරිගෙ වත්තෙ අලුතින් ගෙයක් හදනව.

කාලය ඔහොම යනකොට සීයා හෙමින් හෙමින් වයසට යනව. වයසට යනවට වඩා වේගයෙන් දුර්වල වෙන්න ගන්නව . අවුරුදු ගානක් කසිප්පු එක්ක ජීවත් උනාම ඕක වෙන එක සාමන්‍යයිනේ.. මෙහෙම වයසට යනවත් එක්කම සීයව ගෙදරින් එලියට විසික්වෙනව. තමන්ම හදපු ගෙදරෙ ඉස්තොප්පු කෑල්ල විතරක් සීයට ඉතුරු වෙනව. සීයාට තමන්ගෙ කෑම එක පවා ගෙදරින් හම්බවෙන්නෙ නැති තැනට පත්වෙනව. අන්තිමට සීයා එදාවේල හොයාගන්න හිඟාකන්න පටන්ගන්නව.

"එතකොට සීයගෙ පුතා" මම ඇහුවා.
"පුතා දැන් හමුදාවෙ.. එයා දැන් බැඳල හමුදා ක්වාටස් වල ඉන්නෙ. මම යන්නෙනෑ එයාට කරදර කරන්න. " සීයා කිව්වෙ එහෙමයි.

කොහොම හරි අවසානයේ සීයගෙ ජීවිතේ මේ පත්වුන තත්වෙ ගැන සීයා අද සිය දහස් වාරයක් කම්පා වෙනව. සීය මේ කතා කියනකොට සීයගෙ ඇස්වල පහලට වැටෙන්න ළංවෙලා තියන කඳුලු බිංදු හොඳට පේනව. කොහොමහරි අන්තිමට හොඳ අධ්‍යාපනයක් තිබ්බ හොඳ පවුලක ඉපදුන මේ සීය තමන් ජීවිතේ ගත්ත සමහර තීරණ නිසා මහපාරට වැටෙනව.

මේ කතාව අහපු ගමන්ම මට මතක් උනේ Steve Jobs ස්ටැන්ෆඩ් විශ්වවිද්‍යාලයේ කරපු කතාවේ කොටසකට... "You can’t connect the dots looking forward. Only you can connet them backward…"අපේ  ජීවිතේ ගොඩක් සිදුවීම් ඊට කලින් එකක් හෝ කීපයක් මත depend වෙනව. නමුත් අපිට ඒ සිදුවීම් යා කරන්න පුලුවන් ආපසු හැරී බලල විතරයි. Steve Jobs අද තමන්ගෙ ජීවිතේ තිත් යාවුන හැටි බලල සතු‍ටු වෙනව වගේ අපේ කතානායකයා අද ඒ තිත් යා වුන හැටි බල බල දුක් වෙනව. 

ඇත්තටම අපේ ජීවිතය තීරණය කරන්නෙ කව්ද? මට ඒක මාර ප්‍රශ්නයක්..........